Wednesday, July 10, 2019


වස්සානේ
................................................................................

ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුළු කර කෙසේ අත හැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක...

කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට
දිය කෙළින හැටි පුංචි මාළුවෝ දුටුවාද
පුර පසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම් ද මල්වරව ඉල්මහට...?

සෙනේහය පිරී ගිය ඔබෙ නයන නිල් පොකුණ
දිය නිලන වැසි සමේ රැල් නගා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර...

දෙවට දිග කරඳවැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිළිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය
මිහිරි මව්කිරි වගේ පොවන්නෙමි නුඹලාට...

රමණීය වන ගැබේ මොනරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දා ද දේදුන්න
වැහි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට...

වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට-සීතලයි මගෙ සිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න-ඉතිං මගෙ හෙට දවස මට දෙන්න..

ගිම්හානයේ ගිලන් වී කෘෂ ව සුදුමැලිව
ඇදි ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරය කියා හැර යා යුතු ද ජීවිතය
කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස...

***** රත්න ශ්‍රී විජේසිංහ*****
(වස්සානේ - කාව්‍ය සංග්‍රහය)

No comments:

Post a Comment