බොහෝ දිග ගමනක් වුවත් ඇරඹීමට පළමු පියවර තැබිය යුතු බව ගුරුවරු උගන්වති. එක කෝටුවකට වඩා කෝටූ මිටියක් ශක්තිමත් බව ගුරුවරු පවසති. රෝමය එක් දිනකින් ගොඩ නැගුනේ නැති බව කියා දෙති. නමුත් ගුරු ගැටළුවක දී ඔවුහූ ඒ කිසිවක් භාවිතාවෙන් නො පෙන්වතී.
අවුරුදු 22ක් තිස්සේ තිස්සේ නො විසඳුනු වැටුප් විෂමතා ගැටළුවක් ගුරුවරුන්ට ඇති බවත් මෙතෙක් බලයට පැමිණි පාලකයන් එම හිමි වැටුප ගුරුවරයාගෙන් මංකොල්ල කා ඇති බවත් ගුරුවරුන් (අතලොස්සක් හැර) දනිති. එසේ ම දැන්වත් මෙම ගැටළුව විසඳී තමාට හිමි වැටුප ලැබිය යුතු යැයි ඔවුහූ බලාපොරොත්තු වෙති. නමුත් එය ලැබෙන්නේ කෙසේදැයි බොහෝ අය නොවිමසතී.
අවුරුදු 22ක් තිස්සේ ලබා නොදුන් "හිමි වැටුප" එකවරම රිදී බන්දේසියක තබා දේ යැයි ඇතැම්හූ සිතති. මීටත් වඩා ය(ම)හපාලනයකින් පිරි රජයකින් විසඳුම් ලැබේ යැයි සිහින මවතී. මෙතෙක් කලක් කිසිවක් නොකළ (නමුත් වෘත්තීය සමිති නායකයන් අතර පතාක යෝධයන් යැයි සැලකෙන) ගුරු වෘත්තීය සමිති නායකයන් එක්වරම පිබිද සටන් මගට අවතීරණ වී එය ජයග්රහණයෙන් කෙළවර කරාවියැයි පිරිසක් සිතති.
මෙතෙක් ගුරු ගැටළු නොවිසඳී තව තවත් ව්යාකූල වීම පමණක් සිදු විය. එයට ප්රධාන ම හේතුව ගුරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු වෘත්තීය සමිති තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු නොකිරීම ය. පක්ෂ, සමිති, කල්ලි වලට නොබෙදී තමන්ට හිමි දේ සාමූහිකව දිනාගත යුතු බව ගුරුවරුන් නොසිතීම ද තවත් හේතුවකි. ඔවුන්ගේ පවතින "සියලු ප්රශ්න ස්වයංසිද්ධව විසඳේ" යන ආකල්පය හේතුවෙන් අදටත් ගුරු අරගල පටන් ගත් තැනම ය. මේ වන විට එම ගැටළු වඩාත් තීව්රව පවතී.
"ගුරුවරු දෙවිවරු" යැයි ද "හිමි වැටුප" ඉල්ලීම, අරගල කිරීම ඔවුන්ට නොගැළපේ යැයිද කියමින් පාලකයන් සෑම විට ම ගුරු ගැටළු මඟ හරී. දේවත්වයට ආරූඪ වූ ඇතැම් ගුරුවරුන් ද එය එසේමැයි පිළිගනිමින් දේවකාරිය කරමින් ද වැඳුම් ලබමින් ද සිටී. මෙම "දේව නිද්රාවෙන්" මිදිනු අකමැත්තේ නම් ගුරු හිමිකම් ලැබීම ද තවත් ඈතට යනු ඇත.
සිහින දැකීමට ගුරුවරුන්ට ද අයිතියක් ඇති නමුත් එම සිහින මහපොළව තුළ යතාර්ථ කරගැනීමට නම් සටන් කළ යුතු බව වහ වහා ගුරුවරුන් අවබෝධ කර ගත යුතුව ඇත. සමස්ත රාජ්ය යාන්ත්රණය තුල ම ඉහලම බලපෑමක් කළ හැකි කණ්ඩායම තමන් බව තේරුම් ගත යුතු ය. පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ "හිමි වැටුප" මිස "වැඩි වැටුපක්"නොවන බව අවධාරණය කර ගත යුතු ය. එසේ මනා අවබෝධයක් සහිතව සමස්ත ගුරු පරපුරම එකම අරමුණ ඇත්තන් වී එක පොකුරකට බැඳුනු කලෙක ගුරු සටන් දිනනු ඇත.