Wednesday, April 12, 2023

ඇන්ටාරස්



ශතවර්ෂ ගණනාවකට ඉහත
නුඹ තරු රටාවට පැවරෙන්නට පෙර

ආලෝක වර්ෂ ගණනාවක් මෙපිට සිට
අප්රසිද්ධ මම,
ඈ නමින් නුඹ නම් කළෙමි.
පිහාටු පෑනක අඟින්
ඉටි පන්දම් එළිය තුළට
කවිය යැයි දෙයක් පිවිසෙන යුගයක
"තනි තරුව"යන තැනින් නුඹව මුදවා ගැනුණි
දොර රහිත කුටියෙන් ඇයද නික්මී තිබුණි
ඇන්ටාරස්,
ගෝනුස්සෙකුට වුව
ප්රේමයෙන් පුන පුනා පිරී යන
විෂ රහිත හදවතක් තිබිය හැක
ඔය කිරණ රතු පැහැයෙන්ම
සැළෙන්නේ එනිසාම විය හැක
අඳුරු යුග යුග අතර මේ තරම් කාලයක්?
කෙසේ හෝ,නුඹ දැන් ඉපැරණිම තරුවක්
විශ්වයක් කියන්නෙත් ප්රේමයෙන් අංශුවක්
නුඹම හදවත වීම,නොමැත එහි අහඹුවක්.
** ඇන්ටාරස් : ගෝනුස්සා තරු රටාවේ හදවත ලෙස හඳුන්වන තාරකාව
- දිනේෂ් සිල්වා -



Sunday, October 9, 2022

ජාතික ගුරු දිනය

 #ලෝක_ගුරු_දිනය ඔක්තෝබර් 05 ට යෙදී තිබුනත් ලංකාවේ ගුරු දිනය සමරනු ලබනුයේ ඔක්තෝබර් 06 වැනිදා ය. ගුරුවරුන්ගේ දිගු කාලීන අරගලයක ප්රතිඵලයක් ලෙස ශ්රී ලංකා ගුරු සේවා ව්යවස්ථාව සම්මත කරගනු ලැබුවේ 1994 ඔක්තෝබර් 06 වැනි දින වීම එයට හේතුවයි.

ගුරුවරයා යනු දීප්තිමත්ව දැල්වෙන පහනකි. එම පහනින් දහස්‌ ගණන් පහන් දැල්වෙනු ඇත.එසේම ගුරුවරයා යනු ගලායන දිය උල්පතකි. ගලා බසින ජලය ඉතා පිරිසිදුය. එක තැන රැදෙන ජලය පල් වේ. එවිට ඒවා පල් වතුර වේ. එබැවින් ගුරුවරයා යනු නව දැනුම සොයා යන උල්පතක්‌ මිස එක තැන පල්වෙන පල් වතුර වළක්‌ නොවේ.


ගුරුවරයා පැසූණූ වී කරලක් මෙන් නම්යශීලී විය යුතු ය.
පූර්ණ ඝටයක් මෙන් ස්ථාවර විය යුතු ය.
අයෝමය ස්ථම්භයක් මෙන් දැඩි විය යුතු ය.
එහෙත් වෙඬරු පිඩක් මෙන් මෘදු ද විය යූත්තේ ය



https://www.facebook.com/SampathDehigampalaSFT

Tuesday, September 20, 2022

වෙහෙසකර කැපවීමක අග්‍රඵලය


උසස් පෙළ
#තාක්ෂණවේදය_සඳහා_විද්යාව ( #SFT ) විෂයයේ ගණිතය සංරචකයේ සංඛ්යානය ඒකකය වෙනුවෙන් මා විසින් රචිත පරිශීලන ග්රන්ථය අද (13) සිට මිල දී ගත හැකි ය. මෙම ග්රන්ථයත් සමඟ කොටස් හතරකින් යුතු #තාක්ෂණවේදය ග්රන්ථ මාලාව සම්පූර්ණ වේ.

Thursday, June 23, 2022

සාදය සමඟ මේසය පෙරලිය යුතුය හිතවත..!

දියකෙළි පිණිස දියඇද
පවසින් මියෙනු වෙනුවට
සාදය සමඟ මේසය
පෙරලිය යුතුය හිතවත..!

|සෞම්‍ය සඳරුවන් ලියනගේ|

Monday, February 7, 2022

චතුෂ්කෝටික කතාව

චතුෂ්කෝටික කතාව
 

චතුෂ්කෝටික තර්කනයට අදාළ අගයයන් හතර ගමු.

1. වේ.
2. නොවේ. 
3. වේ සහ නොවේ.
4. නොවේ සහ නොම නොවේ. 

බොහෝ දෙනා (ඇත්තෙන් ම සමහර විෂයය උගත්තවුන් පවා) මේක බූලියන් සංකේතවලින් ලියන්න හදනවා. ඒ කිව්වේ,

1. A වෙයි. = A 
2. A නොවෙයි = ~A 
3. A වෙයි සහ නොවෙයි = (A^ ~A)
4. A නොවෙයි සහ නොම නොවෙයි = (~A ^ ~(~A))

මේ කරලා තියෙන්නේ මොකක් ද? මේ කරලා තියෙන්නේ චතුෂ්කෝටිකයේ අගය හතර, ද්වි-අගය ක්‍රමයට වැරැදියට ලියන එක. මෙහෙම බැලුවාම චතුෂ්කෝටිකය "හතරබීරි කතාවක්" වාගේ පෙනීම අහන්නත් දෙයක් ද! 

මෙතන වරද මේකයි. අංක 3-4 දෙකේ "සහ" කියන්නෙ බූලියන් "AND" නෙමෙයි. තවත් සරල කළොත්: "වේ සහ නොවේ" කියන්නෙ "වේ" සහ "නොවේ" කියන අවස්ථා දෙකේ ඡේදනය නෙමෙයි. "වේ සහ නොවේ" කියන්නෙ තනි අගයයක් (atomic value). ඒක ආපහු "වේ සහ නොවේ" කියන දෙකට කැඩීම වැරදියි. මේ ආකාරයට ම, "නොවේ සහ නොම නොවේ" කියන්නෙ තනි අගයයක් (atomic value). ඒක ආපහු "නොවේ" සහ "නොම නොවේ" කියන දෙකට කැඩීම වැරදියි. 

අපි උදාහරණයක් ගනිමු. මිනිස් ඇසේ තියෙන්නෙ වර්ණ සංවේදී කේතුසෛල වර්ග තුනයි. ඒ නිසා, මිනිස් ඇසට පේන්නේ මූලික වර්ණ තුනයි: ඒ තමයි රතු, කොළ, සහ නිල් (RGB). ඉතිරි සියලු වර්ණ, මේ තුනේ සංකලනයෙන් හැදුණු වර්ණ. නමුත් සුනඛයන්ට තියෙන්නෙ කේතුසෛල වර්ග දෙකයි. ඒ තමයි දම් සහ කහ-කොළ. සුනඛයන්ට පෙනෙන සියලු වර්ණ, මේ දෙකේ සංයෝග. ඒ නිසා ඔවුන්ගේ ලෝකයේ රතු කියා වර්ණයක් නැහැ. අපට වෙනස්වට පෙනෙන සමහර රතුපාටේ ප්‍රභේද, සුනඛයන්ට පෙනෙන්නෙ එක ම වර්ණය විදියට. දැන් හිතන්න සුනඛයන්ට හෙට කතාකිරීමේ හැකියාව ලැබිලා, උන් අපිත් එක්ක වර්ණ ගැන විවාදයක් යනවා කියල. උන් අපට කියයි "රතුපාට කියල එකක් නෑ ඩෝ. රතුපාට කියන්නෙ බොලාගෙ සෙලවෙන මනසට!" කියල. එහෙම වෙන්නෙ ඇයි? රතුපාට කියන එක උන්ගේ මොළය අර්ථදක්වගන්නේ දම්පාටේ ප්‍රභේදයක් විදියට. 

මේ ආකාරයට ම සමනළයන්ට කතාකරන්න පුළුවන් වුණා නම් උන් අපට භගමනියෙන් හිනා වෙයි. ඇයි, උන්ට කේතු සෛල වර්ග නවයක් තියෙනවා. උන්ට මූලික වර්ණ විතරක් නවයක් පේනවා. මැන්ටිස් ශ්‍රිම්ප් කියන පොකිරිස්සට මේක ඇහුණොත් ඌ අපට අධරරන්ධ්‍රවලින් හිනාවෙයි. ඇයි ඌට කේතු සෛල වර්ග 16ක් තියෙනවා. ඒ කියන්නෙ මූලික වර්ණ විතරක් 16ක්! අපට තනි පාට වගේ පේන රෙද්දක් ඌට පේන්නේ දේදුන්නක් වගේ වෙන්න පුළුවනි. 

තවත් අවසාන උදාහරණයක් ගනිමු. 

ABC + BCA = 1686 යන්න ගණිතමය වශයෙන් කිසිදු වරදක් නැති සමීකරණයක් කිව්වොත් ඔබ පිළිගන්නවා ද? ඔබ පිළිගත්තත් නැතත් ඒක එහෙමයි. හැබැයි ඒ 16 පාදයෙන්. අපි සාමාන්‍යයෙන් ගණන් හදන්නේ 10 පාදයෙන්. 10 පාදයට ඉලක්කම් 10යි: එනම්, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 වශයෙන්. නමුත් 16 පාදයට ඉලක්කම් 16ක් තිබෙනවා. ඒ තමයි: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F වශයෙන්. කවුරුන් හෝ කෙනෙක් 16 පාදයෙන් ගණන් හදලා ඔබට කියනවා, 

999 + 999 = 1332 කියල. ඔබ ඔහුට හෝ ඇයට බණිනවා, මොන පිස්සු ද, 999 + 999 = 1998යි නේ කියල. දැන් මේ රණ්ඩුව බේරන්නෙ කොහොම ද? වෙන ක්‍රමයක් නෑ, 10 පාදයෙන් ගණන් හදන එකාට 16 පාදයෙන් ගණන් හදන්න ඉගෙනගන්න වෙනවා. එහෙම නැති ව 16 පාදයෙන් ලියපු ඉලක්කම්, 10 පාදයෙන් අර්ථ දක්වලා උත්තර පටලවගත්තට ගණිතය පළි නැහැ.

චතුෂ්කෝටික අගය හතර, ද්විකෝටික අගය දෙකෙන් අර්ථ දක්වන්න යෑමත් (ටිකක් විතර) ඔය වගේ වැඩක්. වඩා නිරවද්‍ය උදාහරණයක් කිව්වොත් හරියට පූර්ණ සංඛ්‍යා කුලකය ඇතුළේ "π" (පයි) හොයනවා වගේ වැඩක්.

Monday, October 12, 2020

පෘතුවි සෙල්ෆිය...


අනන්ත වූ විශ්වයේ තොරතුරු සොයන අටියෙන් 1977 සැප්තැම්බර් 5 කෙනෙඩි තුඩුවෙන් අභ්‍යවකාශ ගත කළ වොයේජර් 1 අභ්‍යවකාශ යානය මේ මොහොත වෙනකොටත් අනන්තය දක්වා ගමන් කරමින් ඉන්නවා කියල දැන් අපි දන්නවා. අනතුරක් නොවුණොත් තව වසර මිලියන ගණනක් වුනත් එයා මේ මන්දාකිණිය වටේ කරක් ගහයි. පවතින්න පුළුවන් උනොත් ඉනුත් ඔබ්බට යයි. 


අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තොරතුරු සොයන එක තමයි එයාගේ මූලික අරමුණ උනේ. ඊට අමතරව එයා යන ගමන් මාර්ගයේ එයාට හමු වුණ බ්‍රහස්පති වගේම සෙනසුරුත්, සෙනසුරු ගේ චන්ද්‍රයෙක් වෙච්ච ටයිටන් ගැනත් එයා ඡායාරූප වගේම තවත් තොරතුරුත් අපිට එව්වා. මේ මිහිතලයේ වෙන කිසිම කෙනෙක් නොගිය අසහාය ගමනක් (grand journey) යන්න එයා හරියටම පටන් ගත්තේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය පහු කරන්න පටන් ගන්නකොට. සූර්ය සුනාමි වගේම තවත් බාධක ගොඩක් පහුකරගෙන එයා එක මොහොතක අපෙන් සදහටම වෙන් වෙනවා කියල නාසා එකේ මේ සමස්ත වොයේජර් ව්‍යාපෘතිය සැළසුම් කල තාරකා භෞතික විද්‍යාඥ කාල් සේගන් දැන සිටියා. 


ක්ෂිරපථ මන්දාකිණියේ එක තරුවක් අසබඩ පෘතුවිය කියල තැනක මිනිස්සු කියල පිරිසක් හිටිය කියල අපි මේ ලෝකෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා ගිහිල්ල (final human exodus) තව වසර මිළියන හෝ බිලියන ගණනකට පස්සේ හරි එයා මේ විශ්වයේ කොහේ හෝ සටහන් කරලා තියයි කියල නාසා එකේ ප්‍රධානියා වෙච්ච සේගන් හිතුවා. න්‍යෂ්ටික අවි එක්ක සීතල යුද්දෙක හිටපු බටහිර ජාතීන්ට ශිෂ්ටාචාර අවසානයක් ගැන ඒ වගේ ෆැන්ටසි එකක් ඔළුවට එන එක මට නම් අරුමයක් නැහැ. විද්‍යාව ඔස්සේ ම ලෝක විනාශයකුත් එනවා කියල එයාලට හිතෙන්න ඇති. 


සෙනසුරු ගේ ඡායාරූප එව්වට පස්සේ එයාගේ ප්‍රාථමික මෙහෙවර (primary mission) ඉවර නිසා එයාගේ බල ශක්තිය ඉතුරු කරගන්න නාසා එක වොයේජර් යානයේ කැමරා අක්‍රීය කරනවා (switched off). දැන් එයා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ සීමාවෙන් ඉවත් වෙන්න ලඟයි. නමුත් එකවරම නොසිතූ දෙයක් කාල් සේගන්ගේ හිතට ඇවිල්ලා එයා කියනවා අන්තිම එකම එක වතාවකට කැමරා නැවත ක්‍රියාත්මක කරන්න කියල. එකම එක වතාවක්. ඔව්. 


ඒ කරලා ඒ පොඩි වෙලාවේ සේගන් කියනවා දැන් කැමරාව අපේ පැත්තට හරවන්න කියල. ඊට පස්සේ වොයෙජර් අපේ පැත්තට හැරෙනවා එකම එක වතාවකට. කවදාවත් ආපසු නොබලන්න ඉටාගෙන ගමන් ආරම්භ කරපු වොයේජර්. අපි ගැන සමුගැනීමේ දුකක් නොතිබ්බ වොයේජර්. යකඩ හිතක් තිබ්බ වොයේජර්. හැතපුම් බිලියන හතරක් ඈත ඉඳන් ආපසු හැරෙනවා. හැරිලා අවසන් වතාවට අපේ දිහා බලල අපේ සෙල්ෆියක් ගහල අපිට එවනවා. මෙන්න බලා ගනිල්ලා. මට උඹල පෙනෙන හැටි. 'මගේ ඇස තුළ ඔබ කවුද' කියල 1990 පෙබරවාරි මාසේ දවසක එයා අපිට පෙන්නනවා. ඇත්තටම ගත්තොත් ඡායාරූප ගණනාවක් එයා එක දිගට ගන්නවා. ඒ ඓතිහාසික ඡායාරූප පෙලට කියන්නේ 'සෞර ග්‍රහ මණ්ඩලයේ පවුලේ ඡායාරූපය' (solar system's family portrait) කියල. එයිනුත් එකම එක ඡායාරූපයක් මිනිස් ශිෂ්ටාචාරයේ අද්විතීයම ඡායාරූපය ලෙස හැඳින්වෙනවා. 


ඒකට කියන්නේ 'සුදුමැළි නිල් තිත' (pale blue dot) කියල. 'අවපැහැ ගැහුණ ශෝකී තිලකය' කියලත් මේ වචන ටික පරිවර්තනය කරන්න පුළුවන්. කොහොම කරත් කියවෙන්නේ එකම දෙයක් තමයි. ඒ තමයි සමස්ත විශ්වය ඇතුලේ අපි කොයි තරම් කුඩා අංශුවක් ද කියන එක. අපි කොච්චර පොඩිද කියන එක මේ අනන්ත විශ්වය එක්ක ගත්තම.

 

ආලෝක ධාරාවක් ඇතුලේ සැඟවිලා තිබෙන පොඩිම පොඩි අංශුවක් වගේ තිබ්බ මේ පෘතුවි සෙල්ෆිය දැක්ක කාල් සේගන් මවිත වෙනවා. ඊට පස්සේ ඔහු තමන් ගැනම අවලෝකනය කරනවා. දර්පණ අවධිය. දර්පණය ඉස්සරහා ඉන්න මම. ඔබේ ඇස තුළ මම කවුද? ඔබ...ඔව් ඔබ දූවිල්ලක්... ඇසට නොපෙනෙන දූවිලි අංශුවක්...එච්චරයි... (spec caught in a magnificent beam of light). ඕක තමයි අපි දිහා අහම්බෙන් හැරිලා බලපු වොයේජර් යානාවේ අවසන් ක්ෂිතිමය පණිවිඩය. 


ඊට පස්සේ කාල් සේගන් ලෝක ප්‍රසිද්ධ පොතක් ලියනවා. ඒකෙ නමත් 'සුදුමැළි නිල් තිත' (Pale Blue Dot). ඒ පොතේ ඔහු මෙහෙම කියනවා. 'සියළු කඳුළු සහ සියලු සිනහවන්, සියළු සාමාන්‍ය මිනිසුන් සහ සියළු ධන කුවේරයන්, සියළු කුමාරවරුන් සහ සියළු කුමාරිකාවන්, සියළු අම්මාවරුන් සහ සියළු පියවරුන්, උපදින්නට ඉන්න සියළු කිරිකැටියන්, ගලාගිය සියළු ලේ සහ සියළු ජලය, මහත් වෙහෙසින් ගොඩ නැගූ සියළු අධිරාජ්‍යන්, සියළු සත්‍ය සහ සියළු අසත්‍යයන්, සියළු හොඳ සහ සියළු නරක පාලකයින්, පුපුරා ගිය සියළු ගිණි අවි සහ සියළු බෝම්බ, සියළු විද්‍යාවන් සහ සියළු ආගම්, සියළු දන්නා සහ සියළු නොදන්නා දේ යන සියල්ල තියෙන්නේ මේ පුංචි තිත තුළ. දූවිලි වළාවක් අතර හැංගිලා තියෙන මේ දූවිලි අංශුව තුළ'. 


තව වසර හතළිස් දාහකින් මෙපිට වොයේජර් යානයට වෙන කිසිම අභ්‍යාවකාශ වස්තුවක් හමු වෙන්න නියමිත නැහැ. ඒ කියන්නේ බලංගොඩ මානවයාගේ කාලේ ඉඳන් අද දක්වා කාලයක් තව බලන් හිටියත් තවත් නිවසක් අපිට මෑත අනාගතයේ හමු වෙන්නේ නැහැ. 'උඹලට තියෙන්නේ මේ අබ ඇටේ විතරයි. ඒක රැක ගනිල්ලා'. ඒක තමයි ආපසු කිසිදා නොඑන වොයේජර් යානාවේ පණිවිඩය.  


සේගන් මෙහෙම ලියනවා. 'මහා අහමක් (ego) දරාගෙන ඉන්න තරම් කිසිවක් අපි ළඟ නැහැ. විශ්වය පැත්තෙන් ගත්තොත් සියළු මහා අධිරාජ්‍යයන් යනු තත්පරෙන් අලුක්කාලක අංශු පැවැත්මක් පමණයි. අපි දන්නේ කොපමණ පොඩ්ඩක් ද? ඒ දන්නා පොඩි දේ වෙනුවෙන් අප කොතරම් එකිනෙකා මරා ගන්නවද? අප ඉන්නේ කිසිසේත් අනෙක් අයට වඩා වරප්‍රසාදිත තැනක නොවෙයි. අප දන්නා අනාගතය තුළ කිසිවෙක් අපේ උදව්වට නොඑනු ඇති'. 


'අප මේ ලෝකයට පැමිණ ඇත්ද? ඔව්, නිසැකවම. අප මේ ලෝකයේ සංහිදියාවෙන් පදිංචි වී ඇත්ද? එය සැක සහිතයි. ඒ නිසා අපිට ජීවය දී ඇති මේ පුංචිම පුංචි විශ්ව අංශුව ආදරයෙන් රැක ගනිමු. පෝෂණය කරමු. වගකීම් සහගත වෙමු. අප දන්නා එකම නිවස ඒ කුඩා මළානික නීල තිලකයයි'. 


වොයේජර් 1 එවපු අනපේක්ෂිත පෘතුවි සෙල්ෆියෙන් පස්සේ කාල් සේගන්ට ලියවුණේ එහෙමයි. 


('ඒ මළානික නීල තිලකය' කියල ටයිටල් එක දාන්න හදල පස්සේ 'පෘතුවි සෙල්ෆිය' කියල දැම්මා. ඔයාලට කැමති එකක් ඔයාල දාගන්න).    


Image@NASA

Friday, April 10, 2020

කොරෝනා පරදා ඉලක්කය හඹා යන්න


ආදරණිය දරුවනි,

නොසිතූ මොහොතක ලැබූ දීර්ඝ නිවාඩුව විඳිමින් ඔබ නිවසට වී ඇතැයි සිතමි. එසේ ම සියල්ලෝම සුවෙන් ඇතැයි සිතමි. දෙවෙනි වාරය සඳහා නිවාඩුව ලැබී මාසයකට ආසන්න කාලයක් ගෙවී යන මේ මොහොතේ සුපුරුදු අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දී කටයුතු කරමින් ඇතැයි ද අපේක්ෂා කරමි.

චීනයේ වූහාන් පළාතෙන් ඇරඹි ලොව පුරා වසංගතයක් ව පැතිර ගිය Covid-19 රෝගය අප රටට ද ක්‍රම ක්‍රමයෙන් පැමිණෙන මොහොතක ඔබට පාසල් නිවාඩුව ලැබුණි. ඔබ ඇතුළු සියල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රජය ගත් එම පියවර ඉතා ම ප්‍රශස්ත බව ඔබට ද මේ වන විට වැටහෙනු ඇත. ලොව බලවතුන් යැයි කියාගන්නා දියුණු රටවල් පවා කොරෝනා වසංගතයෙන් ගිලගනිද්දී ඔබෙත් මගෙත් මාතෘ භුමිය තවමත් සුරැකිව ඇත. කොරෝනා රෝගීන් හා මරණ යම් ප්‍රමාණයක් වාර්තා වුව ද අප රට රෝග වර්ධනයේ අවම මට්ටමක හෙවත් Flat Rate එකක පවතී. එනිසා අන් රටවලට පෙරාතුව අපට මෙම උවදුරින් මිදී සීමා සහිත තත්ත්ව යටතේ හෝ එදිනෙදා වැඩ කටයුතු ඇරඹීමට හැකි වේ යයි බලාපොරොත්තු සහගත ව සිටිමි.

දරුවනි, මේ මොහොතේ සමාජයක් ලෙස අප සියල්ලෝම කොරෝනා නැමති පොදු සතුරාට විරුද්ධව සටන් කරමින් සිටින්නෙමු. නිවසටම වී රැදී සිටිමින් ඒ සටනේ ඉදිරියෙන් ම සිටින නිහඬ විරුවන් බවට අප පත්ව ඇත. මෙසේ තව දින කිහිපයක් සටන් කළහොත් එනම් රෝගය පැතිරීමට ඇති ඉඩ මුළුමනින්ම අහුරාලූවහොත් නිසැකයෙන්ම අපට ජයගැනීමට හැකියාව ඇත. එම ජයග්‍රහණයේ සාඩම්බර කොටස්කරුවන් වීමට නම් ඔබ තවදුරටත් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදිමින් නිවසටම වී රැඳී සිටිය යුතු වේ.

අ.පො.ස. උසස් පෙළ දරුවන් වන ඔබගේ පරම අරමුණ විය යුත්තේ ඉදිරියේ දී පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දී සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීම බව ඔබට මතක් කළ යුතු නැත. කෙතරම් අර්බුධ පැමිණියත්, කෙතරම් දුෂ්කර කාල ගෙවුනත් ඔබ එම අරමුණින් බැහැර නොවිය යුතු ය. ලැබෙන සීමිත සම්පත් උපයෝගී කරගනිමින් කෙසේ හෝ එම ඉලක්කයේ ඔබ එල්බගෙන සිටිය යුතුය. ඉලක්කය හඹා යා යුතුය. අවසානයේ ජයග්‍රහණය කළ යුතු ය.

මෙම කොරෝනා උවදුර පහව ගිය සැණින් පාසල් ආරම්භ වී නැවතත් සුපුරුදු ඉගෙනුම්-ඉගැන්නුම් ක්‍රියාවලිය ආරම්භ වෙනු ඇත. එවිට, අප සියලුදෙනාට ම වඩා වැඩි වේගයෙන් එම කටයුතු කිරීමට සිදු වනු ඇත. 13 වසර දරුවන්ට සුපුරුදු පරිදි එළැඹෙන අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගය පැවැත්වෙන බව දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත. එනිසා අපට විවේක ගැනීමට කාලයක් නොමැත්තේ ය. ජිවිතයේ අසීරු කාලයක් වූ මෙම යුගයේ දී පවා ඔබ අරමුණ වෙනුවෙන් වැඩ කළ යුතු ය. එසේ නොකළහොත් එම ඉලක්ක ඔබෙන් දුරස් වනු ඇත.

ස්මාර්ට් නොහොත් සුහුරු යුගයක ජිවත් වන ඔබ, මා අධ්‍යාපනය ලැබූ යුගයට වඩා ඉදිරිගාමි ය. සටහන් ලියා හෝ ලියූ සටහනක් ජයා පිටපත් කරගනිමින් දැනුම එකතු කළ යුගය නිමවෙමින් ඇත. ලින්ක් හෙවත් සබැඳියාවන් ඔස්සේ ක්ෂණිකව තොරතුරු සංසරණය කළ හැකිය. සියල්ලම සුහුරු වී ඇත. ඔබ ඔබේ ජිවිතත් යම් තරමකට සුහුරු කරගැනීමට යත්න දරමින් ඇත. මේ සියල්ලම සුබවාදී ය. එම සුබවාදී දෑ මේ මොහොතේ ඔබ නිෂ්ඨාව හෙවත් විභාගය වෙනුවෙන් කැපකිරීමට සුදානම් වන්න.

කිහිප දෙනෙක් හැර ඔබ සියල්ලටම සුහුරු දුරකථන හා Google accounts, WhatsApp වැනි සම්බන්ධතා මේ සියල්ල අතැඹුලක් සේ තිබෙන බව මම දනිමි. එනිසා නැවත පාසල් පටන් ගන්නා තෙක් ගෙවෙන ඉදිරි කාලය තුල නිවසේ දී ඔබ කළ යුතු ම පැවරුම් පැකේජයක් පහතින් ඉදිරිපත් කරමි. එළැඹෙන දිනවල දී එම පැවරුම් අභ්‍යාස සම්පූර්ණ කර නැවත පාසලට පැමිණෙන විට ඒ සියල්ල රැගෙන පැමිණීම අනිවාර්‍ය වේ. මෙය අනෙකුත් ගුරුභවතුන් විසින්ද සිදුකරන සමස්ථ පාසැල් පද්ධතිය තුල ම සිදුවන දුරස්ථ අධ්‍යාපන වැඩපිලිවෙළක් බව ඔබ වටහා ගත යුතු ය.

දරුවනි, යමක් කළ යුතුමැයි බලකර නොකිව යුතු පරිණත අවධියක ඔබ සිටී. දැනුම් තේරුම් ඇති ඔබට අනාගතය කෙසේ සකස් විය යුතුදැයි නිශ්චය කරගැනීමට හැකියාවක් ඇත. එහෙයින් ජීවිතය ජයගැනීමට දුරස්ථව සිට හෝ ඔබට ලබාදෙන මෙම ඉගෙනුම් ආධාරක නොපමාව ඔබේ දියුණුව උදෙසා යොදාගන්න. මෙම ආධාරක වලින් ඔබ්බට ගොස් හැකි පමණින් දැනුම රැස් කරගැනීමේ අභ්‍යාස වල යෙදෙන්න. කොරෝනා පරදා ඉලක්කය හඹා යන්න.

අප ගතකරන්නා වූ මෙම අයහපත් යුගය ඉක්ම වූ පසු සුපුරුදු පරිදි ඔබට පාසලට පැමිණීමට ලැබෙනු ඇත. එවිට නැවතත් සුපුරුදු පාසල් දිවිය වඩාත් ජවසම්පන්නව ආරම්භ කළ යුතුව ඇත. නරක ම කාලයන් ගෙවූ පසු මිනිසුන් වඩාත් උද්යෝගයෙන් වැඩකිරීමට පෙළඹේ. අළු මතින් නැගිටින්නා වූ ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් ඉලක්ක ජයගන්නා තෙක් වැඩ කිරීමට අප සූදානම් විය යුතුය. එතෙක් සියල්ලෝම සුවෙන් හා ආරක්ෂාකාරීව සිටින්න. ඔබට ජය...!

මීට,
සම්පත් සර්






  • 12 වසර සඳහා පැවරුම් (පැවරුම් 10ක් ඇත) 
  • SFT Assignments for NMP MV Tech Students- Grade 12



  • 13 වසර සඳහා පැවරුම් (පැවරුම් 25ක් ඇත) 
  • SFT Assignments for NMP MV Tech Students- Grade 13
    ...................................................................................................................................................................

    ඔබගේ අධ්‍යාපන කටයුතු සඳහා පහත සබැඳියාවන් ද යොදාගන්න



  • ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මාධ්‍ය මහා විද්‍යාලයීය නිල ඉගෙනුම් බ්ලොග් අඩවිය
  • https://drnmpmmvonlineschool.blogspot.com/




  • "ශිල්ප යාත්‍රා" අධ්‍යාපන වැඩසටහන - wayamba BST facebook page
  • https://www.facebook.com/Wayamba-BST-2017719191828318/




  • පිල්ලමට අරුතක් - facebook page
  • https://www.facebook.com/PillamaAkurataAruthak/




  • යුතුකම- E Learning Flat Form
  • https://yuthukama.cf/?fbclid=IwAR059UKJGNZh3gZFuXZJk7jI3PZFXBdb-in0tPN6s2sSlpyASgKYfdQuFjM




  • ටෙක් හබ් FB පේජය
  • https://www.facebook.com/ALTechhubLK/




  • භූගෝල විද්‍යාව-කැළණිය විශ්වවිද්‍යාලය 
  • https://chat.whatsapp.com/Fr3XX42cF66CVBH9D5gCg0?fbclid=IwAR1FTqXUivRac_oq8yLtAZdUCvz9lViKaGoQpHT4FnnAJuyFtdBYZOnfnYE




  • guru.lk වෙබ් අඩවිය
  • https://school.guru.lk/




  • කොලරාඩෝ බෝල්ඩර් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ව්‍යාපෘතිය
  • https://phet.colorado.edu/si/




  • MCQ Class වෙබ් අඩවිය
  • https://mcqclass.lk/